Wednesday, June 8, 2016

මැණික සහ මම

මැණික,

මේ නමින් මං වැඩියේ කතා නොකරේ මැණිකගේ අකමැත්ත නිසාමයි. මැණික කියපු ගමන් මූණ නෝක්කාඩු කරගන්න නිසාමයි මං වැඩියේ එහෙම නොකිව්වේ..

මැණික දන්නවායි කියලා මං හොඳටම දන්නවා මං මැණිකට හුඟක් ආදරේ විත්තිය. ඒ බව නොපෙන්නා ඔච්චර මට ගනන් ඉස්සුවට, මමත් හොඳටම දන්න දෙයක් තමයි මයේ මැණික මට කොච්චර ආදරේද කියලා..
මං මෙහේ හැමදාම මැණික ගැන හිතලා දුක්වෙන වාර ගාන අනන්තවත්. ඒ එහෙම කරන්නේ මැණික මගෙත් එක්ක නැහැ කියන කාරනාවට නෙවෙයි, මං නැතුව මැණික කොච්චර දුක්විඳිනවද කියලා මට දැනෙන නිසා..
මාව කොට්ටේ කියලා හිතලා බදාගෙන නිදාගන්න විත්තිය මං නොදන්නවා නෙමෙයි. ඒත් මට ඒකට මොකුත් කරන්න බෑ කියන විත්තිය දැනගත්තම තමයි පපුව ලාවට රිදෙන්න පටන් අරං ඇහැට කඳුලක් ලාවට උනන්නේ..
මං නොදන්නවා නෙමෙයි මැණිකේ, මං නැතුව මැණික විඳින දුක. ඒත් දුක වැඩිවෙන්නේ ඒ හැම දෙයක්ම මගෙන් හංගගෙන මයේ ඉස්සරහා බොරුවට හිනාවෙනකොට..

"පිස්සු නැතිවුනාට,
හිත පිස්සු වට්ටන
උඹේ ඔය ඇස්දෙක"

කියලා මං එදා කිව්වේ නිකමෙට නෙවෙයි කියලා මැණික දන්න විත්තිය මමත් දන්නවා..
අදටත් මං දන්නවා මගේ නොවුනත් මැණික මට කොච්චර ආදරේද කියලා.. ඒක මං නොදන්නවානං, මං මැණිකට මැණිකගේ අම්මා ආදරේ කරනවට වැඩියෙන් ආදරේ කරනවා කියපු එක බොරුවක් වෙනවා..
හැමදාම උදේට නැගිට්ට ගමන්ම කන්නාඩි දෙක දාගන්න කලියෙන් කරන්නේ මැණික දිහෑ බලාගෙන ඩිංග වෙලාවක් ඉන්න එකයි. ඒක පින්තූරයක් විතරයි වුනත් මට මැණිකව ජීවමාන විදිහට බලාගන්න තියෙන්නේ මේ විදිහට විතරයි.. මං මේක එදා ඉඳං අද වෙනකං කිසිම වෙනසක් නැතුව කරන දෙයක්..

දැං නං පපුව ලාවට රිදෙනවා. අස්වලට කඳුලුත් උනනවා. වටේ ඉන්න අය දැක්කොත් හරිනැති නිසා මං මෙතැනින් නවත්තන්නම්. සෙස්ස පස්සට..

අර්ෂාද් AK ඛාන් 2016

No comments:

Post a Comment